Monday, April 10, 2017

160. මැක් ලොජික්





In the loving memory of Mack:

මැක්කා අපේ බැචා පේරාදෙණිය ටීචර්ස් කොලේජ් එකේ. බැචා කිව්වට ඌ හිටියෙ අපිත් එක්ක එකම බැච් එකේ විතරක්  නෙවෙයි, එකම ගෲප් එකේ, එකම ක්ලාස් එකේ, එකම හොස්ටල් එකේ. මූ පොකු‍ටු කොන්ඩයක් තියෙන, කන්නාඩි දාන ගීක් ටයිප් කොට ජීවිතේ. මේකාගෙ ඇත්ත නම මොක වුනත් මේකාට ඉස්සෙල්ලම වැටිච්ච නම ‘මැක්බෙත්’. ඒකට හේතුව මේකට තිබ්බ අසාමාන්‍ය English Literature උණ කිව්වොත් වැරදි නෑ.


මුලින්ම මූ මේ නම ගැන මාර ආඩම්බරෙන් හිටියෙ.  ඒ ඇයි කියලා කියන්න ඕනෙ නෑනෙ, මොකද “විලියොං හෙල්ල හොලවන්නා” මේකාගෙ වීරයෙක්. ඉතින් මේක කියලාවත් දාගන්න බැරි නමක්නෙ.

නම දාපු උන්ට (ඒ කියන්නෙ අපිට) තේරුනා වැඩේ අප්සෙට් කියලා. ටික කාලෙකින්ම ‘බෙත්’ හැලිලා නිකම්ම නිකං ‘මැක්’ විතරක් ඉතුරු වුනා. මූ මේකට එච්චරම සතු‍ටු වුනේ නැතත්  ඔරුවෙ පෙරලිච්ච පැත්ත හොඳයි කියන න්‍යායට අනුව අලුත් නමට අනුගත වුනා. මොකද ‘මැක්’ කියන්නෙත් තඩි අමෙරිකන් සුපර්ට්‍රක් එකක්නෙ කියලා. වැඩි දවසක් ඒ සතුට තිබ්බෙ නෑ. තඩි අමෙරිකන් ‘මැක්’ සුපර් ට්‍රක් එකට ඈඳුනා ට්‍රේලර් එකක් ‘කා’ කියලා.  එතකොට නිකම්ම ‘මැක්කා’. ඒකට නම් මූ කැමති උනේම නැති නිසා ඒ නම් රෙජිස්ටර් වුනා.

මැක්කා දකුණෙ පොරක්. අපේ බැච් එකේ හිටිය වැඩි දෙනා දකුණෙ උන් තමයි බස්නාහිරයො වන අපි කීප දෙනෙත්, තව උතුරෙන්, උතුරු මැදින්, නැගෙනහිරින් සහ කන්ද උඩරටින් ආපු සෙට් එකත්  ඇරෙන්න.
දවසක් අපි දවල්ට කාලා පොඩි නින්දක් ගහන වෙලාවෙ මට ඇහෙනවා මැක්කා කාටදෝ වාත කරනවා.

“ඒයි මචං නැගිටපංකො. ඒයි සරා නගිටපංකො බං.” කියලා
“මොකද යකෝ, පලයංකො මට ටිකක් නිදාගන්න දීලා.” සරා නිදිමතේම කියනවා ඇහුනා.

“ඒයි මචං නැගිටපංකො. ඒයි මට නුවර යන්න ඕනෙ බං. බ්‍රිටිෂ් කවුන්සිල් එකට.”

“මොන මගුලක්ද බං. මෙන්න මෙහෙට වෙලා ටිකක් නිදාගනිං බං. බ්‍රි-ටි-ෂ් කවුන්සිල්.”

“ඒයි වරෙංකො මාත් එක්ක යන්න. මට අර පොත් ටික රිටර්න් කරන්න් ඕනෙ බං.”

“ඉතිං මම මොකටද බං උඹ පලයංකො.”

“අනේ එහෙම කියන්න එපා බං. ඒයි නැගිටපං බං.”

මැක්කගෙ එක ලක්ෂනයක් තමයි ඌට මොනවා හරි ඕනෙ උනොත් ඒක ලැබෙන කල්ම කෙඳිරිගාලා, නහයෙන් අඬලා, වාත කරන එක. සරාටත් තේරෙන්න ඇති මුගෙන් ගැලවුමක් නැති බව.

“මැක්කො, උඹ පලයංකො බං පව් නොදී.  අනික මම මේ හෙන කෝඩෙ ගහලා ඉන්නෙ.”

“සල්ලි ප්‍රශ්ණයක් නෑ. කවුද මෙතන සල්ලි ගැන කිව්වෙ?  මමයි බස් එකට ටිකට් ගන්නෙ. මමයි ප්ලේන්ටී අරන් දෙන්නෙ. බොට ඕනෙනං සිගරට් එකකුත් අරං දෙන්නංකො. බොට තියෙන්නෙ එන්න විතරයි. මට කම්මැලියි  බං තනියෙං යන්න. දෙන්න එක්ක කයියක් ගහ ගහ යමං බං. අනේ වරෙං බං.”

“අපොයි ‍තෝ නං මලම වාතයක්, මලම ඇනයක්, හා හා නවත්තගං තොගෙ ඇඬියාව. හැබැයි ‍තෝ  තමයි සියලු වියදං දරන්නෙ. ඔන්න මතක තියාගනිං.”
මම හිතන්නෙ මැක්කට කට කන් දෙකේ ගෑවෙන්න ඇති.  මේ ටික කිව්ව සද්දෙන් මට එහෙම හිතුනෙ. ඒ එක්කම ඇඳ කිරිස් කිරිස් ගෑවෙ සරා අන්තිමේදි නැගිට්ට නිසා වෙන්න ඕනෙ.

“හරි හරී. නෝ ප්‍රොබ්! I pick up the tab! නැගිටපංකො අන්න එහෙම. අන්න එහෙමනෙ බං ඉන්න ඕනෙ!”

පස්සෙ මට නින්ද යාගෙන එනකොට මුන් දෙන්න යනවා යාන්තමට ඇහුනා.
නැප් එකෙන් පස්සෙ අපි නැගිටලා, ප්ලේන්ටී බිබී,  දුමකුත් දාගෙන, වල් පල් දොඩව දොඩවා, එකිනෙකාට මඩ ගගහා, ආතල් එකේ ඉන්න කොටයි මුන් දෙන්නා ආපහු ආවේ.

“හාපෝ සරතො මූ මාර විදියට වාත කලානේ උඹව ඇදගෙන යන්න.  මට මූට දෙකක් නෙලන්න හිතිලා තිබ්බෙ නැගිටලා.” මම කිව්වා.

“අඩෝ මාත් ‍තෝත් එක්ක මල ඔරොප්පුවෙ හිටියෙ. කතාකලේ නැත්තෙ ‍තෝ මගෙ ඇ‍ඟේ එල්ලෙයි කියලා බයේ,” තව එකෙක් ආශිර්වාද කලා.

මැක්කා හික් හික් ගෑවා විතරයි. ඌ අතේ බ්‍රිටිෂ් කවුන්සිල් එකෙන් ගත්ත බර පොත් වගේකුයි, තව බෑග් වගේකුයි තිබ්බා. සරා අතෙත් පොඩි බෑග් එකක් තිබ්බා.

ටිකකින් මැක්කා කන්නාඩි කුට්ටම අතට අරන් පොලිෂ් කරන ගමන් කියනවා.
“ඒයි සරත්, බස් එකට රුපියල් **.**යි. තේ වලට රුපියල් **.**යි. උඹේ සිගරට් දෙකට රුපියල් **.**යි. මම සිගරට් බොන්නෙත් නෑ, නමුත් මමත් එයින් බාගෙකට කන්ට්‍රිබියුට් කරන්නම්කො. එතකොට එකතුව රුපියල් ***.**යි. උඹ මට ඒකෙන්  50% දෙන්න ඕනෙ.”

“මොකක්?” සරතට කෑ ගැස්සුනා. මට ප්ලේන්ටී උගුර හිරවුනා. සමහරුන්ට සිගරට් දුම හිරවෙලා කැස්ස හැදුනා.

“උඹ මට  වියදමෙන් බාගයක් දීපං. ‍ෆිෆ්ටි ‍ෆිෆ්ටි” කියපු මැක්කා කන්නාඩි කුට්ටම ඉහලට අල්ලලා පරීක්ෂා කරලා බලලා ලෙන්ස් දෙකටම කටින් පිඹලා ආයිම පොලිෂ් කරන්න ගත්තා.

“ඈ බොල @#$, ‍තෝ නේද අර නිදාගෙන හිටපු මාව ඇහැරවාගෙන ඇදගෙන ගියේ? ‍තෝ කිව්වා නේද ‍තෝ තමයි වියදම් කරන්නෙ කියලා? ‍තෝ… තොගෙ…” සරතා බෆර් වෙන්න පටං අරං.

මේක අහං හිටපු මටත් කට පියාගෙන ඉන්න බැරිවුනා.

“අඩෝ මැක්කෝ, උඹ ඌට වාත කරලා, වැඳලා, ඌව ඇදගෙන යනවා මාත් අහගෙන හිටියේ. මොනාද ඩෝ දැන් මේ කියන්නෙ?”

ඔන්න අනිත් උනුත් දෙන්න ගත්තා මල්ටි බැරල් වලින්.

“උඹ ඌට ටිකට් ගන්නවය, තේ අරන් දෙනවය කියලා කිව්ව මාත් අහගෙන, දෙපිට කාට්‍ටුවා.”

“දිව දෙකේ එකා, දෙපත් නයා….”

“හෝව් හෝව් හෝව්. මේ අහපල්ලා,” කියපු මැක්කා කන්නාඩි කුට්ටම දාගත්තා.

ඊට පස්සෙ බෙල්ල නවලා, කන්නඩි කුට්ටමේ රාමුවට උඩින් අපි දිහා බලලා, ඌ මෙහෙම කියනවා සරාට.

“මේ අහපං. මම එහෙම කිව්වා තමයි. ඒ ඉස්සෙල්ලා. එතකොට උඹ ආවෙ  තනිකර මගෙ ඕනෙ කමට තමයි.  නමුත්…” මූ  කේස් එකක් ගොඩ දාගත්ත ෂර්ලොක් හෝම්ස්  වගෙ ඔලුව වන වන, ඇඟිල්ලකුත් උරුක් කරගෙන, ජයග්‍රාහී හිනාවකුත් එක්ක, අපි හැමෝම දිහා බැලුවා.  “නමුත් උඹත් පේව්මන්ට් එකෙන් මේස් දෙකක් ගත්තා නේද?  උඹ නෑ කියනවද?”


“ඔව් ගත්තා තමයි, ඉතිං?”

“හෙක් හෙක්! “මගෙ උවමනාවට” ගිය ඒ ගමනෙන් බොටත් වැඩක් උනා නේද?  හරිනං උඹ මට වියදමෙන් බාගයක් දෙන්න ඕනෙ.”

මේකට සුදුසු උත්තරයක් හිතාගන්න අපිට තප්පර තිහකට වඩා ගියා.
මාතර වැලිගම පැත්තෙ ඉන්න මැක්කගෙ අම්මා කල්පනා කරන්න ඇති කවුද අප්පා මාව මෙච්චර මතක් කරන්නෙ මෙච්චරටම කිඹුහුං යන්න කියලා.




Originally published @ HeyDude in English Language and.  @ මට හිතෙන හැටි.








Thursday, March 23, 2017

159. හදිසි අච්චාරුමය තත්වයක්...


 පිළිගැන්වීම: එළ ද බ්‍රා මෙන්ඩාට සහ පොඩි මෙන්ඩාට:

ඉස්කෝල නිවාඩුවෙ අන්තිම සතිය. ඉස්කෝලෙ යන්න වෙන සතිවලට දවස් දහයක් දොළහක් තිබුනට ඉස්කෝලෙ නිවාඩු කාලෙ සතිවලට තියෙන්නෙ දවස් දෙකයි නැතිනම් තුනයිනේ. මම මේ මිල්ඩ්යූරා වල ඉන්න ආච්චියි සීයයි බලන්න යන ගමන්.

මේක අර ආසන තිස් හයේ පොඩි ගුවන් යානයක්.  පාන් වලත් අයිනෙ කෑල්ලට කැමති, බස් එකක කෝච්චියක ගියත් අයිනට පොරකන මට, අයිනෙ සීට් එකක් හම්බවෙලා තියෙන්නෙ හොඳ  වෙලාවට.  ඒ මදිවට, බෝනස් එකක් හැටියට මට ඒකට අල්ලපු අනිත් සීට් එකත් ලැබෙන්න වගේ යන්නෙ. හොඳට අතපය දිගෑරලා ආතල් එකේ යන්න හැකි එහෙම වුනානම්.  මම හිතන්නෙ නෑ තවත් කවුරුවත් ආයෙ එයි කියලා ඒකට.  වැඩි හොඳට, මම ඒක උඩ රබර් වලින් හදපු ඇත්තම එකක් වගෙ පෙනෙන, පට්ට සිරාම සෙල්ලම් බලු බෙට්ටකුත් තියලා තියෙන්නෙ.

මේ තාක් කල් නම් අවුලක් වුනේ නෑ.  තව පොඩ්ඩකින් අපි ගුවන් ගත් වෙන නිසා වැඩේ ගොඩ වගෙ.   ඇරත්,   මට පිටිපස්සෙ තියෙන සීට් තුනම හිස්.

හයියෝ! කියනකොටම, මගෙ බලාපොරොත්තු  සුනු විසුනු කරමින්  කඩා පාත්වෙන කොහේදෝ යන වයසක උන්දැ කෙනෙක් සීට් පේලි දෙක අතරින් තියෙන කොරිඩෝව දිගේ ගාටමින් එනවා මේ පැත්තට. හයියෝ!

"අනේ එයා මට පිටිපස්සේ තියෙන සීට් එකට යන්ඩ.  අනේ එහෙම වෙන්ඩ. මාව පහු කරගෙන ඔහොමම යන්ඩ. ඔහොමම යන්ඩ.  ඉන් පස්සෙ ගුවන් සේවිකා කෙල්ල දොර වහයි. ඉන් පස්සෙ මට කචල්-බචල්, අවුල්-බවුල් නැතුව හිතේ සැනසිල්ලෙ, ආසන දෙකම අයිතිකරගෙන ලෙසටම  යන්න පුලුවන්.

ඒත් මොන! සිද්ද වෙන්නෙ හැමදාම මට වෙනවා වගේ, ඒකෙ අනිත් පැත්ත.

වයසක උන්දැ මා ලඟ නතර වෙනවා.  මට මේක අදහ ගන්න  බැ. ඇයි මේ මටම වෙන්නෙ?

"අනේ එපා! එපා! එපා!  යන්ඩ යන්ඩ. පිටිපස්සට යන්ඩ ඔහොමම හොඳ ආච්චිනේ!" මම හිතෙන් කෑගහනවා.

"සමාවෙන්න." මගෙ හිත ඇතුලෙ දුවන යුද්දය ගැන හාංකවිසියක් නොදන්න ඈ කියනවා, " මේ සීට් එකේ කවුරුහරි ඉන්නවද?"

"ආ...ම්ම්ම්ම්....අර්ර්ර්....  ඔ...ඔ...න්..නෑහ්." මම ගොත ගහනවා. "ඒ වුනාට මම...මම... මම නං කියන්නෙ ඔය සීට් එකේ ඉඳගන්න එකනම් එච්චර සුබ නෑ, ඒ මොකද ඒක එච්චර පිරිසිදු නෑ."

වයසක උන්දැ නැවිලා  සීට් එක අතගාලා බලනවා.  ඔන්න එයාට බලුබෙට්ට අහුවෙනවා. එයා ඒක අතට අරන් හොඳට අතගාලා බලනවා.

"මේ සීට් එකේ තියෙන්නෙ රබර් බලු බෙට්ටක් විතරනෙ. " ඈ කියනවා.  "මම හිතන්නෙ මේක මේ කවුරුහරි පොඩි ඉලන්දාරියෙක් කොලු කමට කරපු පොඩි තක්කඩිකමක්."

එහෙම කියන ඈ බලුබෙට්ට ඉස්සරහ සීට් එකේ තියෙන දැල් සාක්කුවෙන් ගත්තු වමනේ බෑග් එකට දානවා.

මෙයා නම් මාරම ආච්චි කෙනෙක් තමයි.  සිරාම බුලට් බඩුවක්.  එයා කොහොමද දැනගත්තේ ඒක රබර් බෙට්ටක් බව?  ඕක සල්ලිවලට ගන්න පුලුවන් හොඳම වර්ගයේ, උසස්ම ප්‍රමිතියෙ ISO 9002 බලු බෙට්ටක්.  කොටින්ම ඕකට මගේ බල්ලත් ‍රැවටෙනවා කියහංකෝ.

"ඒ කියන්නෙ මට මෙතන ඉඳගන්න පුලුවන් නේද?" ඈ අහනවා. " ඔය දරුවට ප්‍රශ්ණයක් නෑනේ?"

මට ඕනෙ, " මොකද ප්‍රශ්ණයක් නැත්තෙ?  ප්‍රශ්ණයක් තියෙනවා.  පව් නොදී මාරු වෙන්නකො මෙතනින්.  අර ඕනෙ තරම් සීට් තියෙන්නෙ වදේ අර පිටිපස්සෙ.  ගිහිං ඒවයින් එකක ඉඳගන්නකෝ වද නොදී.  මෙතනටම රිංගන්න හදන්නෙ වාතයක් වෙන්න." කියලා.

නමුත් මම කොහොමද එහෙම කියන්නෙ.  මේ වගේ වයසක ආච්චි කෙනෙකුට කොහොමටවත් එහෙම කියන්න බෑ.  ඒක කැත වැඩක්.  ඒ තියා, දැන් මට නැගිටලා පිටිපස්සෙ සීට් එකකට යන්නත් බෑ ගසලා බසලා දාලා, මොකද මේ මනුස්සයාගෙ හිත රිදෙන්න පුලුවන් නිසා. එයා තට්ට තනියෙම ජීවත් වෙන , කාත් කවුරුවත් නැති කෙනෙක්ද කවුද දන්නෙ? .  මම එහෙම කලොත්  එයාට ඒක දරාගන්න බැරිවේවි.  යනව නම් යන්න ඕනෙ වෙන කවුරුත් නෙවෙයි මේ ආච්චිම තමයි.

ඈ වාඩිවෙලා, ඇගේ අත්බෑගය සීට් එක යට තියලා හරිබරි ගැහෙනවා.

මේ ගැන මොනව හරි පියවරක් ගන්නවනම්, නොපමාව ගන්න වෙනවා. මොනවහරි කරනවානම් කරන්න වෙන්නේ මේ දැන්. පස්සෙ නෙවෙයි.

ඔන්න ගුවන් යානාවේ දොර වහලා අගුල් දාන ගුවන් සේවිකාව  අර සුපුරුදු, කවුරුවත්  අහන් නොඉන්න,  පිළිගැනීමේ කතාව පවත්වනවා.  හදිසි දොර‍ටු තියෙන තැන්,  ජීවිතාරක්ෂක කබා, ඔක්සිජන් මාස්ක් පාවිච්චි කරන හැටි...
ඒක ඇ‍ඟේ ලේ වතුර වෙන පිළිගැනීමේ කතාවක් හරියට අහං හිටියොත්. නමුත් ඒකෙන් මට අදහසක් පහල වෙනවා.

එන්ජින් ක්‍රියාත්මක වෙලා යානය හරහා ඒවයේ දෙදරිල්ල යන්තමින් පැතිරිලා යනවා.

"මේක වැඩිය ගැස්සෙන්නෙ පෙරලෙන්නෙ ගියොත් හොඳයි," මම කියනවා. "මොකද මට මේ අහස්යාත්තරාවල ගමන් එච්චර අල්ලන්නෙ නෑ.  මට බිම ඉන්නකොට අහස්යාත්තරාවක් මතක් වුනත් වමනේ යනවා කිව්වාම!"

"මොකක්ද කිව්වේ?"  ඈ අහනවා. "පොඩ්ඩක් හයියෙන් කියන්න වෙයි."

මම ඇගේ ‍රැලි වැ‍ටුනු කණට ලංවෙලා බෙරිහන් දෙනවා.

"මම කිව්වේ  මට අහස්යාත්තරාවල යන්නම බෑ.  මට හෝ ගාලා වමනෙ යනවා සෙනිකවම."

ආච්චි හිනාවෙනවා.

"ෂෝක්නෙ පුතේ, " ඈ කියනවා.  "අපි දෙන්නට දෙන්න බලාගන්න හැකි එහෙනම්.  මොකද මටත් එහෙමයි. "


කාල වරෙංකො. නියමෙනුත් නියමයි.  ආච්චිඅම්මා මගෙ සීට් එකට කෙලියා මදිවට දැන් මගෙ ඇඟ පුරා හෝටලේකුත් දාන්නයි යන්නෙ."

එකවරම තරමක් දෙදරන ගුවන් යානය ගොරවමින් ඉදිරියට ගමන් කරන්න ගන්නවා.

ගුවන්ගතවීම තමයි ගුවන්ගමනක  මගේ ප්‍රියතම කොටස.

ගුවන් නියමුවගෙ කටහඬ ශබ්ද විකාශනවලින් ඇහෙනවා.  "සුභ උදෑසනක් ඔබ සැමට. මුලින්ම   දකුණු ඕස්ට්‍රේලියානු ගුවන් සේවයේ අප සමග පියාසර කරන ඔබට ස්තුතියි. මිල්ඩ්යූරා වෙත පියාසර කරන මාර්ගයේ ඉදිරිය මේ සුන්දර උදෑසන  ඉතාම යහපත් කාලගුණයක් පවතින බවයි කියවෙන්නෙ.  අප පැයට සැතපුම් තුන්සීයක වේගයකින් අඩි දහසය දාහක් ඉහලින් පියාසර කරන්න බලාපොරොත්තු වෙනවා. පසුපසින් හමන සුලඟ නිසා අපට පැයකට අඩු කාලයකින් ගමනාන්තයට ලඟා විය හැකි වේයයි බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට සුව දායක ගුවන් ගමනක්."

"මොකද එයා කිව්වේ?" වයස උන්දැට දැනගන්න ඕනෙ. "මොකද පුතා එයා කිව්වෙ?"

"එයා කිව්වා කාලගුණ වාර්තාව අන්තිම නරකයිලු.  ඉස්සරහ පැයට සැතපුම් තුන්සීයක වේගයකින් හමන සුළි කුණා‍ටු, අඩි දහසය දාහක් ඉහලට පැතිරිච්ච ටෝර්නේඩෝ වගේ බයානක තත්වයක් තියෙනවලු.  ඒක හන්දා හයියෙං අල්ලගෙන  තමං ඉඳගෙන ඉන්නේ වමනේ  දාන කෙනෙක් ලඟ නොවේවා කියලා ප්‍රාර්තනා කරගෙන යන්නලු.  එයා කිව්වා  දැනට තමන් වාඩිවෙලා ඉන්නෙ එහෙම කෙනෙක් ලඟනම්, තව ටිකකින් මේක ඉහල නැගීම නතර වුනාම නැගිටලා වෙන සීට් එකකට මාරු වුනාට කිසි ප්‍රශ්ණයක් නෑලු."

"මම නම් වෙන තැනකට යන්නෙ නෑ," ආච්චි කියනවා.  "මම ඔයා වගේ ලොකු, හයි හත්තිය තියෙන පිරිමියෙක් ලඟ වාඩිවෙලා යන්න ලැබීම ගැන දෙවියන්ට ස්තුති කරනවා.  ඔය කියනවා  වගේ කාලගුණ තත්වයක් යටතේ තනියෙම සීට් එකක ඉඳගෙන යන්න මම පරාණ බයයි."

මෙපමණ වෙලා ධාවනපථයේ කෙලවරට හෙමින් හෙමි ටැක්සි කල ගුවන් යානය, සම්පූර්ණ වටයක් කරකැවිලා දිග ධාවන පථය දිහාට මුහුණ හරවලා හරිබරි ගැහෙනවා. ඉන් පස්සෙ එන්ජින් සැර දමාගෙන ඉදිරියට දුවන්න ගන්නවා. රෝද ධාවන පථයෙන් නික්මිලා සෑහෙන ආනතියකින් යානය  ඉහලට ගමන් කරද්දි මාව ආසනයටම කිමිදිලා යනවා මට දැනෙනවා.

ගුවන් නියමුවා හරි තමයි.  ඒ මම අත්විඳලා ඇති, කිසිම ගැස්සීමක්, පෙරලීමක්, දෙදරීමක් නැතුව, පිහා‍ටුවක් වගේ සැහැල්ලුවෙන් ගුවන් ගත වෙච්ච,  හොඳම ගුවන් ගතවීම් වලින් එකක්.  නමුත් මම ආසනයේ එහාට මෙහාට වැනෙමින්, දඟලමින් ගැහෙමින්, ආසන ඇඳි සොලවමින් එය එහෙම නොවන බව වයසක උන්දැට ඒත්තු ගන්වන්න උත්සාහ කරනවා.

"ඌ...හ්හ්", මම කෙඳිරි ගානවා, "ඕ...හ්ග්ක්,  මට දැනටමත් වමනේ යන්න එකවා.  ඔයා සීට් එක මාරු කලා නම් හොඳ නැද්ද?"

"අනේ නෑ පුතේ," මගේ අත ගෙන  ඇගේ අත් වලට මැදි කරගන්නා ආච්චි කියනවා. "මම ඔයාව බලාගන්නම්. කිසි දේකට බයවෙන්න එපා පුතේ මම ලඟ ඉන්නකල්."

දෙයියනේ. ඇයි මටම මෙහෙම වෙන්නේ?  මම මොන වරදක් කලාටද?  දැන් ඕං එයා මගේ බාරකාරයා වෙන්න යනවා. එච්චරයි අඩු. එච්චරමයි අඩු.

මේ වගේ වෙලාවට අති විශේෂ  සංග්‍රාමික උපක්‍රම අවශ්‍ය වෙනවා.

ඒකට  මේ ඔක්සිජන් මුහුණු ආවරණ, ජීවිතාරක්ෂක කබා එකකින්වත් සත පහක  වැඩක් නෑ.

මේ උදාවෙලා තියෙන්නෙ හදිසි අච්චාරුමය තත්වයක්.

මට කොහොමත් අච්චාරු පේන්නෙ වමනේ වගේ. අච්චාරු වලයි වමනෙ වලයි වෙනස අච්චාරු භාජනේක නැතිනම් බෝතලේක එන එක විතරයි.

ඒ ඇර අච්චාරු පෙනුමෙන් වමනෙ වගෙ.
ගඳින් වමනෙ වගෙ.
රසෙනුත් වමනෙ වගෙ
අච්චාරුවලට වඩා වමනෙ වලට සමීප දෙයක් තියෙනවා නම් මේ ලෝකෙ ඒ කස්ටර්ඩ් විතරයි. මම කස්ටර්ඩ් ගැන කතා කරන්නත් මේ වෙලාවෙ අකමැති එහෙම කලොත් මට  ඇත්තටම වමනෙ යන්න පුලුවන් නිසයි.

කොහොමින් කොහොමින් හරි, මම  මේ වගේ හදිසි තත්වයක් උදාවුනොත් ඒකට මුහුණ දෙන්නම නිතරම අච්චාරු බෝතලයක් අරගෙන යනවා. හෙහ් හෙහ් හෙ. පුදුමයි නේ? නමුත් ඇත්තයි. ඔය පෙර සූදානම තියෙනව නේද?  ඒක...

මම හෙමිහිට ආච්චිගෙ දෑතට මැදිවෙලා තියෙන මගෙ අත මුදාගන්නවා.

"දැන් හරි ස්තුතියි," මම ඈට ස්තුති කරනවා. "මට එක පාරටම හොඳටම හොඳයි වගෙ තේරෙනවා."

"බොහොම හොඳයි. හැබැයි යන්තම් හරි අසනීප ගතියක් දැනුනොත් මට නොකිය ඉන්න එපා, පුතා."

තමන්ගෙ ආසන පටි ඉවත් කරන ගුවන් සේවිකාව මගීන්ට සත්කාර කිරීමේ මහා මෙහෙයුමට දුවනවා.  මේ ගමනට සාමාන්‍යයෙන් ගතවෙන්නෙ පැයක විතර කාලයක්.  අපට තේ, කෝපි, පළතුරු යුෂ, සිසිල් බීම, රසකැවිලි දීලා ඉවර වුනු ගමන්ම ඇයට  ඒවයෙ ඉතුරු-බිතුරු එකතු කරගෙන ඒවා ආපහු අහුරලා, දුවලා ගිහින් ආපහු තමන්ගෙ ආසනේ වාඩිවෙලා, ආසන පටි තද කරගෙන ගොඩ බෑමට ලැහැස්ති වෙන්න වෙලාව ඇවිල්ලා.

ඔන්න එයා අපි ලඟට එනවා.

ආච්චි කුකීස් එක්ක තේ ඉල්ලනවා.  මටත් තියෙන හැම කෑමෙන් සහ බීමෙන්ම එක එක ඉල්ලන්න ඕනෙ.  ඒ වුනත් මගෙ 'වමනේ මෙහෙයුමට' ඒක බාදාවක්.  ඒ නිසා මම දැනටමත් කෑම සුවඳට කුලප්පුවී ඇති මගේ ආමාශය අඬාවැටෙද්දි, කෑම කන්න පිරියක් නැති බවත්, වමනෙ යාවි යයි බියක් තියෙන බවත් මහලු කාන්තාවට ඒත්තු ගන්වන්න උත්සාග ගන්නවා.

"වමනෙ යන්න පුලුවන් නිසා, මට  මොකුත් කන්න බයයි", මම පපු කැණතු උණුවෙලා යන  අන්ත අසරණ විදියට  ගුවන් සේවිකාවට කියනවා "මට වතුර ටිකක් විතරක් දෙන්න."

ඈ ටිකකින්  ආපසු එනවා.  ආච්චී ඇගේ තේ කෝප්පයට සීනි සහ කිරි එකතු කර දිය කරන අතරේ මම  හොරෙන්ම මගේ ගමන් මල්ලෙන් අච්චාරු බෝතලය අතට ගන්නවා.

මේ වැඩේට පස්සෙ නම් ආච්චිට මා ලඟ ඉඳගෙන යන එක එපා වෙයි.

මා ලඟ නෙවෙයි, මම යන අහස්යාත්තරාවකට වත් ආයෙ ගොඩ වෙන එකක් නෑ.

මම නොගියත්, පණ තියෙනකල් අහස්යාත්තරාවකවත් ආයෙ නොයන්නම වැඩේ දෙන්නම් මම.

අහස්යාත්තරාවක සද්දෙ ඇහුනත් සෙනිකවම කබ්බා සෙට් වෙන ගානට ලෙසටම වැඩේ දෙන්නම්.

හෙහ් හෙහ්... කොටින්ම,  ඕවිල් රයිට්,  විල්බර් රයිට් කිව්වත් 'ඕක්' ගාලා වමනේ දාන ගානට වැඩේ දෙන්නම්.

ඉදිරියට නැවිලා ආච්චිට නොපෙනෙන විදියට යානයේ ජනේලය පැත්තට මුහුණ හරවන මම අච්චාරු බෝතලේ පියන හොරෙන්ම අරිනවා. ඉන් පස්සෙ එක අතක ඇඟිලි වලින් නහය මිරිකාගෙන අච්චාරු බෝතලේ කටට ඇල කරනවා.  බින්දුවක්වත් ගිලෙන්නෙ නැතිව කට අච්චාරුවලින් පුරවාගන්න මම උත්සාහ කරනවා. හැමෝම කියනවා වගේ , මගෙ කට ලොකු වැඩි නිසාමදෝ, අච්චාරු බෝතලෙන් බාගයක් විතර කටට ගන්න මට පුලුවන් වෙනවා

බෝතලේ පියන වහන මම බෝතලේ හිමීහිට මල්ලට රිංගවනවා.  ඉන් පස්සෙ ආපහු ආසනේ ඇන්දට හේත්තු වී බඩ දෑතින්ම බදාගෙන හඬ නගා  කෙඳිරි ගාන්න ගන්නවා.

"මොකද පුතා?" ආච්චි අහන්වා.

කටෙන් එකක් අච්චාරු නිසා මට උත්තරයක් දෙන්න බෑ.

මම වඩා තදින් කෙඳිරි ගානවා.

"වමනේ බෑග් එක ඕනෙ වේවිද?" ඈ අහනවා. මම හිස වනනවා.

ඈ වහාම ඇගේ ඉදිරිපස ආසනයට අයිති වමනේ බෑග් එක ඇදලා අරන් මට දෙනවා. ඔව් මගේ බලු බෙට්ට තියෙන බෑග් එක තමයි.

ඉදිරියට නැවෙමින්, දිග හැරෙමින් කම්මුල් පුම්බමින් ටික වේලාවක් රංගනයක  යෙදෙන මම කඩදාසි බෑගය තුලට වමනය කරන්න යන බව පෙන්වමින් කටේ පුරවා තිබුනු අච්චාරු දිය ඇල්ලක් ආකාරයට එලියට පිඹිනවා. නමුත් ඉන් වැඩි කොටස බෑග් එකෙන් පිටතට එල්ල කිරීමට මම වග බලාගන්නවා. නිකට දිගේ බේරී යන තව කොටසක්   ටී-ෂර්ට් එකට වැගිරෙනවා

"අනේ අසරණයා. "ආච්චි අණුකම්පාවෙන් කියනවා." අනේ පව් දුප්පත් අසරණයා"

"දැං හරි, දැන් හොඳයි වගෙ."

"වැඩේ කියන්නෙ පුතා මට පොඩ්ඩක්වත් අමාරු නෑනේ. මේක මම ගිහින් තියෙන හොඳම ගුවන් ගමන් වලින් එකක් කියන්න පුලුවන්.  ඔයාගෙ බඩ බොහෝම ලාමක එකක් වෙන්න ඕනෙ."

"ඔව්, හරිම ලාමකයි. දැන් මට ඒ ගමන බඩගිණියි."

"අයියෝ පුතා අපරාදෙ.  දැන් මොනවත් ඉල්ලන්නත් ප්‍රමාද වැඩියි."

"ඒකට කමක් නෑ.  මම කෑම ගෙනත් තියෙන්නෙ.  මට පුලුවන්ද ඔයාගෙ තේ හැන්ද පොඩ්ඩ්කට ඉල්ලගන්න?"

'හපොයි මොකෝ බැරි? මෙන්න,"

මම හැන්ද අතට ගන්නවා.  දැන් තමයි ඒ කවුරුත්  පුල පුලා බලා සිටි මොහොත. ඔන්න දැන් ආච්චි  සීට් එක දාලා පස්සට රොකට් එකක් හයි කලාවගෙ  පණ එපා කියලා දුවන මොහොත.

මම වමනේ බෑග් එකේ කට සීරුවට ඇරලා හැන්දෙන් එකක් පුරවලා අච්චාරු එලියට ගන්නවා.  ඉන් පස්සෙ අච්චාරු හැන්ද නහයට ලං කරලා දෙතුන් වතාවක් සුවඳ බලලා අන්තිමට ගැඹුරු හුස්මක් ගන්නවා.

"ආආආහ්", මම හිනාවෙමින් කියනවා, "මම කොහොමත් කෑම කන්න කැමති මෙහෙම නැවුම්වටයි, උණු උණුවටයි. ඒ මගෙ හැටි..."

මම කට හෙමින් ඇරලා වමනේ හැන්ද කටට දාගෙන කට වහගන්නවා. ඉන් පස්සෙ හෙමිහිට හැඳිමිටෙන් ඇදලා හැන්ද එලියට ගන්නවා. ඉන් පස්සෙ හැන්ද හොඳින් ලෙව කනවා.ඉන් පස්සෙ ඇස් පියාගන්නවා

මම හෙමීහිට ඇස් ඇරලා බලනවා.  මම බලාපොරොත්තු වෙන්න අල්ලපු ආසනය හිස්ව තියෙනව දකින්න.  මම බලාපොරොත්තුවෙන්නෙ ආච්චි පුලූවන් තරම් ඈතට දුවලා අනිත් මගීන්ටත් මගෙන් පුලූවන් තරම් ඈතින් ඉන්න කියලා අවවාද කරනවා දකින්න.

නමුත් මගෙ ලඟ ආසනය හිස් නෑ.

ආච්චි තවම ඒකෙ ඉන්නවා. තවම මා දිහා බලාගත්තු ගමන්. ඒ ශාන්ත දාන්ත කරුණාවන්ත බැල්මෙන්.

"රසද පුතා?"

"රසම රසයි. මම කියනවා. උඩට එනවට වඩා රසයි ආපහු පහලට යනකොට."

"ඇත්තද?" ආච්චි කියනවා. "අනේ ලොකූ දෙයක්.  තව ටිකක් කන්න පුතා."

"මොකක්?"

ආච්චි කිව්වානම් අපි ඇඳුම් ගලවලා දාලා කොරිඩෝව දිගේ ඉහලට පහලට දුවමු කියලා මම එච්චර පුදුම වෙන්නෙ නෑ.

"හ්ම්ම්, ඔව්.  තව ටිකක් කන්න ඕනෙ."

තව හැන්දක් කන මම සද්දෙට ගුඩුස් එකක් යවනවා.

"සමාවෙන්න," මම කියනවා.

"ඒකට කමක් නෑ.  ආච්චි පිළිතුරු දෙනවා. "සමහර රටවල් වල කෑම කාලා ගුඩුස් ඇරියාම ඒක කෝකියට කරන ප්‍රසංසාවක් හැටියටලු සැලකෙන්නෙ. "

මේ ආච්චි නම් මාරම චරිතයක් තමයි.  ආච්චි මේක සාමාන්‍ය දෙයක් හැටියට සලකනවා නම් ආච්චිගෙ ගෙදර කෑම වෙලාව ගැන හිතන්නත් මට බය හිතෙනවා.

මේක නිකං සාමාන්‍ය මට්ටමෙන් කරලා බෑ. සිරාවටම කරන්න ඕනෙ

බෑග්  එක ඇරලා තව වමනේ හැන්දක් ගන්න මම මේ පාර ඒක කටට නොදා ඔලුව මුදුනට වක්කර ගන්නවා.

මේක කොණ්ඩෙටත් හොඳ ෂැම්පූ එකක්ලු.

ආච්චි ඔලුව වනලා එකඟ වෙනවා.

මම තව හැන්දක් එකෙන් ගන්නවා. අරන් ඒක අනිත් අතින් අරන් මූණ පුරා ගාගන්නවා.  කම්මුල්වල කණ්වල බෙල්ලෙ ...

මේක හොඳම බියුටි ක්‍රීම් එකක්." මම කියනවා. "ඔයාට අප්පිරියාවක් වගේ දැනෙනවද මන්දා?"

මඳ සිනහවක් මුවට නගාගත් මහළු කාන්තාව මා දිහා ඔහේ බලාගෙන ඉන්නවා.

"අපොයි නෑ. මට හිතිලා තියෙන්නෙ මේ බියුටි ක්‍රීම් එකක් හැටියටත් පාවිච්චි කරන්න පුලුවන් ඔය කියන කෑම පොඩ්ඩක් මූණෙ ගාගෙන බලන්න.

අන්න එතකොට තමයි මට වැඩේ තේරෙන්නෙ.

මම ඇඟිලි තුනක් ඇගේ මුහුණ ඉස්සර වනනවා.

"මෙතන ඇඟිලි කීයද?

"දන්නෑ පුතා. මම අන්ධයි. ඇයි අහන්නෙ?"

"නෑ මේ නිකං." මම අච්චාරු වලින් හමන සැර ගඳින් හුස්ම හිරවෙන අතරෙ කියනවා. මේ ගඳ මගෙ හමෙනුයි කොණ්ඩෙනුයි සම්පූර්ණයෙන් ඉවත් කරගන්න මාස ගානක් යන බව මම දන්නවා.

"නෑ, නිකං ආච්චි ඇහුවේ. නිකම්ම නිකං. ඒ වුනාට මට ආයෙම සිරාවටම වමනෙ යන්න වගෙයි."

"අනේ අසරණයා. " තව වමනෙ බෑග් එකක් මගෙ අතට දෙන ආච්චි අණුකම්පාවෙන් කියනවා." අනේ පව් දුප්පත් අසරණයා"

 Andy Griffiths ලියූ Just Joking කෙටිකතා සංග්‍රහයේ පළවූ Emergency Spew Relish කෙටිකතාවේ අනුවාදයක් වැනි දෙයකි.

මේ ඇන්ඩිගෙ තවත් කතා:

 "දැන් ලඟද තාත්තෙ ?"
 කැරපොත්තා / Cockroach
 මළා හා සමානයි. / Playing Dead.
 මාරක කේක් වට්ටෝරුව - Cake of Doom
බෝම්බයද? ඔබද? BEAT THE BOMB!
පච්චේ - BORN TO DIE
ප්ලාස්ටරේ / Band-Aid
කුණු! - Trash!
මඩ-Mudmen





Monday, October 31, 2016

158. ටොම්පච, කෙබර, බේගල් සහ පම්පෝරි

පොඩි උන්ගෙ සාක්කියක් උසාවියෙදි පවා පිළිගන්නවා කියලා මම අහලා තියෙනවා. ඒ නීතිය නම් හදලා තියෙන්නෙ පොඩි උන් කෙලින බොරු ගැන නොදන්න බක  පණ්ඩිතයෙක් වෙන්න ඕනෙ. පොඩි උන් කියන සමහර ටොම්පච කොච්චර පුම්බලද කිව්වොත් ඒවට හිනා නොවී ඉන්න එක්කෝ ඕනෙම බොරුවකට අහුවෙන අමුම අමු මැට්ටෙක් වෙන්න ඕනෙ. නැතිනං, ඉතාම හොඳ වෙනත් හේතුවක් තියෙන්න ඕනෙ. පොඩි කාලෙ අපි අතෑරපු ටොම් පච කීපයක් මට තවම මතකයි.


රත්වත්ත බෝයිගෙ අහස්යාත්තරාව වර්ෂන් 2.0

Saturday, October 1, 2016

157. “ඌ අපේ බැජ් එකේ එකෙක් මචං.” එන්න ගොඩ දාන්න ඉංග්‍රීසි!



“ඒයි, මටත් ඉංග්‍රීසි ටිකක් කියාදීපංකො.”
 
“ඒ මොකද උඹට හිතුනෙ මේ හදිස්සියෙ ඉංග්‍රීසි ඉගෙන ගන්න?”

 “කඩ්ඩ බැරුව සෑහෙන කේස් වෙනවා බං. දැං අපේ පොඩි උං හෝම්වර්ක් එකක් ඇහුවත් ගොඩ දාගන්න බැරි වුනාම ඒකත් හෙන ප්‍රශ්ණයක්නෙ. ඔය වගෙ එකී නොකී ප්‍රශ්ණ වැලයි බං.”

Monday, September 19, 2016

156. ජර්මන් යන එවුන් බේත් විදගන්න වරෙල්ලා!!


පෙරවදන:

මම කාලෙකට ඉස්සෙල්ල හිතුවා අපි සිංහල කතා කරනකොට මැදට දාන ඉංග්‍රීසි වචනවල අවභාවිතාව අඩු කරන්න යමක් කරන්න. මම ඒ කාලෙ පාරෙ යනකොට අනිත් උන් වාහන එලවන හැටි දැකලා කේන්ති ගන්නව. ඒ එක්කම උන්ට උගන්නන්නත් උත්සාහ කරනවා.

කාලයක් ගිහින් ඒ හරක් විකුණලා දැම්මේ ඒක කරන්න පුලුවන් වැඩක් නොවෙයි කියලා තේරුණ නිසා. දැන් මම පාරෙ යද්දි, ඒ කියන්නෙ වාහන එලවද්දි, අනිත් උන්ව හදන්න යන්නෙවත්, උන්ට උගන්නන්න යන්නෙවත් නෑ.  කේන්ති ගියාට කේන්තිය පෙන්නන්න යන්නෙ නෑ හැකි තාක් දුරකට.

දැන් මගෙ මිෂන් එක පණ බේරාගෙන, වාහනේ තලා නොගෙන ගෙදර එන එක විතරයි.

නොමිලේ ඉංග්‍රීසි වලටත් වුනේ ඔය කල දසාවමයි.

Wednesday, September 7, 2016

155. ට්‍රෑන්ස්ෆෝර්මර්ස් / Transformers In Real Life / Citroën 2CV


Photo Daniel Denis - 2CV Magazine



හොලිවුඩ් සිනමාවට ලැබුන ඕස්ට්‍රේලියානු දායාදය වන මෙල් ගිබ්සන් ප්‍රධාන චරිතය රඟපෑ  Mad Max නම් ඕස්ට්‍රේලියානු චිත්‍රපටය ඔබ බලලා තියෙනවද?  විශේෂයෙන්ම Mad Max 2. එතකොට,  අසූව දශකයෙ විතර පෙන්නපු ලෝක ප්‍රකට අමෙරිකානු ටෙලි කතා මාලාවක් වන MacGyver බලලා තියෙනවද? මැක්ගයිවර් කියන වචනය අදත් ව්‍යවහාර වෙන්නේ, ඉතාම සීමිත සම්පත් යොදාගෙන, තමන්ට අවශ්‍ය නිර්මාණය ඕනෑම තත්වයක් යටතේ කරන්න හැකි  උපාය ශීලී, තීක්ෂණ බුද්ධියක් ඇති, නිර්මාශීලී, බහුකාර්ය පුද්ගලයෙක් ගැන විස්තර කරන්නයි. මම මේ ඔබට කියන්න යන කතාව ඇහුව ගමන්ම මගෙ හිතට ආවේ මෑඩ් මැක්ස් සහ මැක්ගයිවර් සුසංයෝගය.

1993 වසරේ මේ සිද්දිය වෙද්දී හතලිස් තුන් හැවිරිදිව  සිටි  ප්‍රංශ ජාතික විදුලි කාර්මිකයෙකු වූ  Emile Leray (එමිල් ලරේ) ගැන මේ කතාව කියවද්දි මට මුලින්ම මේ කතාව විශ්වාස කරන්න අමාරු වුනා. මොකද, ඕනෙ තරම් අමූලික බොරු ප්‍රවෘත්ති අන්තර්ජාලයෙ වගේම, මුද්‍රිත මාධ්‍යයෙත් කියවන්න දකින්න හැකි නිසා.


Source: Google Maps
එමිල් අප්‍රිකානු මහාද්වීපයට පෙම්බැඳි ප්‍රංශ ජාතිකයෙක්. 1993 වසරෙදි, එමිල් ඊසාන දිග අප්‍රිකාවේ මොරොක්කෝවේ  Tan Tan නගරයෙන් පිටත්වී, මොරොක්කෝ සහරා කතර හරහා Zagora නගරය බලා ඔහුගේ Citroën 2CV වර්ගයේ මෝටර් රථයෙන් තනිවම ගමන් කරද්දි අනතුරකට ලක්වෙනවා. 

සාමාන්‍ය පුද්ගලයෙක් නම් අන්ත  අසරණවෙන මේ මොහොතේ, පරාජය බාර ගෙන පසුබසින්න සූදානම්  වෙන්නේ එමිල් නොවෙයි. දින දහයකට සෑහෙන කෑම බීමත්, මෙවැනි අනතුරුදායක ගමනකට අත්‍යාවශ්‍ය වන ආවුද පෙට්ටියට සහ අමතර රෝදවලට අමතරව, ඔහු ඇණ, මුරිච්චි, යකඩ කපන කියතක්  වැනි මූලික ආවුද කීපයක්  Citroën රියේ දමාගෙන යි ගියේ.


From Wikimedia

මුල්ම පසු බෑම ඇතිවෙන්නෙ එමිල් Tan Tan පසු කර තරමක් දුර ගමන් කරද්දි ඒ දිනවල මොරෝක්කෝව සහ බටහිර සහරාව අතර පැවති ගැ‍ටුමේ  ප්‍රතිඵලයක් ලෙස  Tilemsem ප්‍රදේශයට ඔබ්බෙන් ඇතිවූ අලුත් තත්වයක් නිසා  ඔහුව නවතා ආපසු යවන හමුදා මුරපොලේදියි. එහිදී තරමක උණුසුම් කතාබහක් ඇතිවෙන්නේ, ආපසු හැරී යාමට ලැබෙන අණට අමතරව, එමිල්ට මුරපොලේ සිට  තවත් නාඳුනන මගියකුද ‍රැගෙන යන යන ලෙස භටයන් බලපෑම් කිරීම නිසයි. සැබවින්ම  ආපසු TanTan වෙත යාමේ අදහසක් එමිල්ට තිබුනේ නෑ. අමතර මගියකු ‍රැගෙන ගියහොත්, තමාගේ රක්ෂණ ගිවිසුමේ කොන්දේසියක් උල්ලංඝණය වන බව කියන  එමිල් ඒ ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කරනවා.  අප්‍රිකානු රටවල, මෙවැනි හදිසි අවස්ථාවක මගියෙකු රියේ නංවාගෙන යාමට කෙරෙන ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම නොකල යුතු දෙයක් හැටියට සැලකෙන බව එමිල් හොඳින් දැනසිටියත්, තමා එවැනි සිරිතක් පිළිබඳ අවබෝධයක් නොමැති 'විදේශික සංචාරකයකු' බව ඔහු ඔවුනට දැනෙන්නට ඉඩ හරිනවා.  මෙයින් සෙබලු තවත් උරණ වෙනවා. මිලිටරි බලයට අමතරව, සිවිල් බලතලද සතු 'gendarmarie' යනුවෙන් ප්‍රංශ බසින් හැඳින්වෙන මේ අවි දරන සෙබලුන් සමග තර්ක කිරීම භයානක බව තේරුම් ගත් එමිල්, ආපසු හැරී කිලෝ මීටර් කිහිපයක් ගමන් කර, මුරපොල මග හැර තමාගේ මුල් ගමනාන්තය යාම පිනිස සහරාව මැදින් වැ‍ටුනු වෙනත් අතුරු පාරකට හැරෙනවා.



"4X4 ධාවනය නොමැති වුනත් , මේ ප්‍රදේශයේ ඉතාම සුලභ Citroën 2CV මාදිලියේ මෝටර් රථය මා ‍තෝරාගත්තේ එහි ඇති ඔරොත්තු දීමේ ගුණය නිසාමයි.  2CV රථය අප්‍රිකාවේ අනවර්ත නාම ගනනාවක් භාවිතා වෙනවා. යකඩ ඔ‍ටුවා (Steel Camel) ඉන් එකක්. එසේ කියන්නෙ ඕනෑම තැනක ගමන් කිරීමට ඊට හැකි ඔරොත්තු දීමේ හැකියාව නිසයි.  නමුත් මේ යකඩ ඔ‍ටුවන් ඉතාම මෘදුව හසුරුවන්න ඕනෙ. එතකොටයි ඔවුන්ගෙනුත් ඒවගෙම විශ්වාසනීය සේවයක් ලැබෙන්නෙ. නමුත් එදා මට  බැරි වුනෙත් ඒක. මුර පොලේදි ඇතිවුන ආවේගයත් නිසාමදෝ මම ඉතාම රළු  ලෙස තමයි රිය පැදවුනේ," එමිල් පසුව කියනවා.

සහරා කතර හරහා දිවෙන වල ගොඩැලි ගහන අති දුෂ්කර ම‍ඟේදී මඳකට පාලනයෙන් තොරව යන රිය විශාල ගල් ගෙඩියක වැදී නතර වෙනවා. වහා වාහනයෙන් එලියට බැස සිදුවූ හානිය පරීක්ෂා කරන එමිල් දකින්නේ මේ අනතුරින් රියේ අවලම්බන
(suspension) පද්ධතියේ swing arm එකකුත් රෝද ඇක්සලයකුත් යලි ධාවනය කල නොහැකි ආකාරයට හානි වී ඇති බවයි.

එමිල් තමා අතරමං වී  ඇත්තේ, කිට්‍ටුම මිනිස් වාසයෙන් අවම වශයෙන්,  කිලෝමීටර් 32 ක් පමණ ඈතින් බව අනුමාන කරනවා.

එමිල් පසුව Sunday Times පුවත්පතට කල ප්‍රකාශ කලේ, "මම මින් පෙර අප්‍රිකානු මහාද්වීපයේ දහ වතාවකට වැඩිය රවුම් ගසා පළපුරුද්දක්  තිබුන නිසා ප්‍රදේශය  හොඳින් දැන සිටියා. ඒ නිසාම මට ඒ හැටි චකිතයක් දැනුනේ නෑ," යනුවෙනුයි.

'ඉතින් අවශ්‍ය තරම් කෑම සහ ජලය තිබුනනම් පයින් ඇවිදගෙන යන්න තිබුනනෙ.' මේ මගෙ හිතට නැගුන පළවෙනි ප්‍රශ්ණෙ.මේ ප්‍රශ්ණෙම තවත් කිහිප දෙනෙකුට ඇතිවෙලා තිබුන බව මම මේ ගැන අන්තර්ජාලයේ සොයා බලද්දී දු‍ටුවා.

"ඒක පයින් යන්න දුර වැඩියි." ඒ එමිල් මුල් ලිපියෙම කවුරුත් ඒ ගැන ප්‍රශ්ණ කරන්නත් කලින් කියපු දේ. සමහර විට ශුෂ්ක කාන්තාරයක, වතුර සහ  කෑමත් ‍රැගෙන සුදුසු ඇඳුම් සහ පාවහන් නොමැතිව තරණය කිරීම බොහෝ විටගෙදර සුවපහසුවට ඉඳගෙන ලැප්ටොප් තිරයකින් මෙය කියවන  අපි සිතින් මවාගන්නා චිත්‍රයට වඩා වෙනස් දෙයක් වෙන්න පුලුවන්.

තමාට ඉතිරි වී ඇති සීමිත විකල්ප කිරා මැන බැලූ එමිල් ‍තෝරා ගන්නා විසඳුම කාන්තාරෙ පයින් තරණය කිරීමටත් වඩා පිස්සු අදහසක් හැටියටයි බැලූ බැල්මට පේන්නෙ.  වහිනකොට, ගොරවනකොට ගොඩබිම යන වාහන වයිපර් දාගෙන හෙමින් ගියාට, ජෙට් ගුවන් යානා වලාකුලට උඩින් පියාඹනවා වගේ,  විවිධ පුද්ගලයෝ ප්‍රශ්ණ වලට මුහුණ දෙන්නෙ විවිධ ආකාරයට. හැම විටම වෙනස් ආකාරයට සිතන එමිල් අනතුරට පත්වූ Citroën 2CV රථයේ කොටස් යොදාගෙන කාන්තාරෙන් එලියට පදවාගෙන හැකි මෝටර් සයිකලයක් නිර්මාණය කර ගැනීමට අදහස් කරනවා. ඒ එක්කම ඔහු තමාට මුහුණ දීමට සිදුවන තාක්ෂණික අභියෝග වැල මනසින් පෙලගස්වා විසඳුම් සොයා බලනවා.

සාමාන්‍ය තත්වයක් යටතේ නම් මේ විශ්වකර්ම ක්‍රියාව කිරීමට තාක්ෂණික ඥානය, හැකියාව  සියළු පෑස්සුම්- කැපුම් උපකරණ වලින් සමන්විත  අංග සම්පූර්ණ වාහන අලුත් වැඩියා කිරීමේ වැඩපලකුත්, තවත් කිහිප දෙනෙකුගෙ ශ්‍රමයත් අවශ්‍ය කලත්, එමිල්  මේ ගිණිගෙන දැවෙන සුප්‍රසිද්ධ සහරා කතර මැද, තනිවම මේ කාර්යයට අත ගහනවා. ඔහුගේ චිත්ත ධෛර්යය, නොපසුබට උත්සාහය සහ ආත්ම විශ්වාසය ඉතාම පුදුම සහගතයි.

"මම කෙලින්ම දිවි ‍රැකගෙන ගැලවී යාමේ මෙහෙයුමට සැරසුනා. (I entered the survival mode). කෑම සහ වතුර හැකි උපරිම කාලයකට සෑහෙන සේ පාවිච්චිය වහාම අවම කරගත්තා." එමිල් පසුව කිව්වා.

පසුදා උදෑසනම ඔහු Citroën 2CV මෝටර් රියේ බොඩිය චැසියෙන් වෙනම ගලවා ගෙන කාන්තාර සැඩ හිරු ‍රැසින් හා වැලි කුණා‍ටුවලින් බේරී සිටීමට ආවරණයක් සේ මෙන්ම,  ඇට මිදුලු ගල් වන ක‍ටුක ශීත කාන්තාර රාත්‍රියට ආවරණය වී නිදා ගැනීමට කූඩාරමක් හැටියටත් යොදා ගන්නවා. මේ රථයට එහි විසුළු පෙනුම නිසාම දී තිබුනු තවත් අනවර්ථ නාමයක් නම් 'රෝද සවිකල කුඩය' (Umbrella on wheels) යන්නයි.

නවීන මෝටර් රථවලනම් මේ ආකාරයට ලොරියක, බස් රියක හෝ වෑන් රියක මෙන් වෙන් කල හැකි චැසියක් සහ බොඩියක්  එන්නේ නෑ.  ඒවා එකිනෙකට ඒකාබද්ධ කර (unity construction) එන්නේ.  නමුත් Volkswagen Beetle (VW) සහ තවත් එවැනි මාදිලි කීපයක පමණක්, ඒ ආකාරයට චැසියෙන් වෙන් කල හැකි බොඩියක් එනවා. එමිල්ගේ Citroën 2CV රථයක් එවැනි එකක්.

මේ ගැන මමත් මුලින්ම සැක කලත් මෙය කල හැකි බව පෙන්වන "Mythbusters 10 - Comment transformer une Citroën 2CV en moto" නම් YouTube වීඩියෝවක් මම නැරඹුවා . ඔවුන් පෙන්වාදුන් ආකාරයට Citroën 2CV රථයේ බොඩිය බෝල්ට් ඇණ කිහිපයකින් පමණයි චැසියට සවි වී තියෙන්නේ. නමුත් වරදවා වටහා ගන්න එපා, ඒ ඉතාම ශක්තිමත් ආකාරයට. මේ රියේ දොරවල්  බොනට්‍ටුව සහ බොඩිය ඉතාම පහසුවෙන් ගලවා ඉවත් කල හැකි බව ඒ වීඩියෝව සාක්ෂි සපයනවා.

දෙවෙනි ලෝක යුද්ධයට පෙර සැලසුම් කර, නට්සීන්ට හසු නොවන සේ යුද සමයේදී සඟවා තැබූ Citroën 2CV ව්‍යාපෘතිය, ප්‍රංශයේ  TPV යන කාණ්ඩයට අයත් රථයක්. කවුරුත් SUV - Sports Utility Vehicle යන වාහන කාණ්ඩය නම් අද හඳුනනවා. TPV යනුවෙන කෙටිකර ඇත්තේ ප්‍රංශ බසින් Toute Petite Voiture - ඉංග්‍රීසි බසින්  Very Small Car හෝ අද හැඳින්වෙන ආකාරයට very compact car / (economy car) යන්නයි.

මෙයත්  ජර්මනියේ  Volkswagen මෙන්ම පොදු ජනතාව වෙනුවෙන්ම නිමැවූ වාහනයක්. ඇතැම් විට VW ටත් වඩා දුර වඩා දුර ගිය සංකල්පයක්.   ඉදිරි රෝද වලින් පැදවෙන, ඉදිරිපස සවිකල එන්ජිම සහිතව නිමැවූ මේ රිය ඉලක්ක කලේ සාමාන්‍ය ගොවි ජනතාවටයි.  එය ඉතාම සැහැල්ලුව මෙන්ම, අඩුම පිරිවැයකින් නිශ්පාදනය වුනේ අඩුම මිලකට විකිණිය හැකි ආකාරටයි. මුලින්ම, පෙට්‍රල් ලීටරයකින් වැඩිම දුරක් ගමක් කල හැකි, සුලඟින් සිසිල්වන 375CC-9HP සිලින්ඩර දෙකේ. තිරස් එන්ජිමක්  සහිතව නිපැයූ මෙම රිය, පසුව ක්‍රමයෙන් 600CC 29HP එන්ජින් දක්වා ධාරිතාවය වැඩි කරනවා.  



පොලොවේ සිට වැඩි පරතරයක් සහ මෘදු අවලම්බන පද්ධතියක් සහිතව නිමැයූ මෙම වාහනයට, ගොවි පොලවල රළු බිමේ, කිලෝ පනහක පමණ ගොවි නිශ්පාදන පටවාගෙන පැකිමී 48 ක උපරිම වේගයකින් පහසුවෙන් යා හැකි වුනා. බිත්තර පටවාගෙන ඒවා නොබි‍ඳෙන සේ පෙරලූ පසක් සහිත ගොවි බිමක් හරහා යාමට හැකි ආකාරයටයි මෘදු අවලම්බන පද්ධතිය සැලසුම් කර තිබුනේ. මේ  වාහනේ ත්වරනය (acceleration) පිළිබඳව නම් පුරසාරම් දොඩන්න තරම් ආටෝප වාර්තා නැති වුනත්, ( 2CV අයිතිකරුවන්ම විහිළුවට කියන කතාවක් තමයි මේක පැයට හැතැප්ම 0 ඉඳං 60 යන්න දවසක් වගේ ගන්නව කියන එක. :D  / "from 0–60 in one day".) මේ පැරණි වාහනයට තිබුනේ සමකාලීන වාහන වලට වඩා ඉදිරියෙන් තිබූ, රියේ පෙනුමට නොගැලපෙන විශ්මිත තාක්ෂණයක්.

මුල්ම වාහනයේ ඇතුලත ඉඩකඩ ගැන කතා කලොත් උස රියැදුරෙකු හිස්වැස්මක් පැලඳ වාහනය පදවන්නේ නම් බෙල්ල නොනවා රිය පැදවීමට කැන්වස් වහලය විවෘත කිරීමට සිදුවුනා.

දැන් නැවතත් සහරාව මැද අතරමංවී සිටින එමිල් වෙත ආවොත්, මෝටර් සයිකලයක් සාදා ගැනීමට නම්, බොඩිය ගලවා දමා වෙන් කරගන්නා Citroën 2CV චැසිය කපා කොට කර ගෙන එයට ඇක්සල් සහ රෝද දෙකක් සවිකර ගත යුතු වෙනවා.  ඒ එක්කම එන්ජිම සහ ගියර් පෙට්ටිය එහි මැද කොටසට ඇමිණිය යුතු වෙනවා. 
එමිල් යකඩ කපන කියතෙන් චැසියේ  කොටස් කපා දමා කපා කොට කිරීමට පටන් ගන්නවා.

මුලින් කීවාක් මෙන් කාන්තාරය
අතරමං වී සිටිනා අයෙකුට විදුලි විදුම් උපකරණ, වෙල්ඩිං ලාම්පු, වැනි දේ නොමැතිව මූලික ආවුද කිහිපයකින් මෝටර් සයිකලයක් නිර්මාණය කිරීම නම් ප්‍රාතිහාර්යයක්. එමිල් ලෝහ කොටස් සම්බන්ධ කරන්නේ ඇණ මුරිච්චි වලින්. ඔහු ඇණ රිංගවීමට හැකි තාක් දුරට චැසියේ විද තිබූ තිබුණු සිදුරු  භාවිතා කලත් සැමවිටම එසේ කල නොහැකිව සිදුරු විදගැනීමට සිදු වෙනවා. එවිට ඔහු ගනකම් තහඩු කොටස් අංශක අනූවකින් නැවීමෙන්  ලෝහය දුර්වල කොට යකඩ කපන කියතෙන් හා රවුම් පීරෙන් පීරිගා ගනකම අඩු කරගෙන ඉන්පසු පොංචියෙන් හා මිටිය ආධාරයෙන් සිදුරු සාදාගෙන තහඩුව ආපසු දිගහරිනවා.
Photo Daniel Denis - 2CV Magazine

 
එන්ජිමත් රෝදත් එක කෙලින් සවිකර ගැනීම සඳහා රෝද හතරම  මුලුමනින් ඉවත්කර රෝද දෙකක් චැසියේ ඇතුල් පැත්තෙන් නුහුරට සවිකර ගැනීමට සිදුවෙනවා.
එන්ජිමෙන් ලැබෙන බලය අවර කඳේ ඇති කරකැවෙන ලෝහමය බ්‍රේක් ඩ්‍රම් කොටස හරහා කෙලින්ම රෝදය මත ක්‍රියා කරන නිසා සරළම භෞතික විද්‍යා නියමයන්ට අනුව රථය ඉදිරියට ධාවනය කල හැක්කේ රිවර්ස් ගියරයේ පමණයි.   ගියර් පෙට්ටිය ගලවා මෙය වෙනස් කිරීමට හැකි වුවත්, වැලි සහිත සහරාවේ එවැනි දෙයකට අතගැසීම අනවශ්‍ය කරදර ‍රැසකට අත්වැනීමක් බව වටහා ගන්නා ඔහු, එය එලෙසම තියෙන්නට හරිනවා.

 

ඔබ මෝටර් රථ තාක්ෂනය ගැන උනන්දු නම්, පමණක් මේ මේ සටහන ඔබටයි. ඉදිරිපස එන්ජිම (front mounted engine) සහ ඉදිරි රෝද එලවුම (front wheel drive) සහිත රියේ ඉදිරිපස තිබුනේ inboard brakes. නැතිනම් රෝදයට සවි නොකර චැසියට සවිකල තිරිංග. ඩිෆරන්ෂලයට යාබදවම තිබුනු බ්‍රේක් ඩ්‍රම් වල සිට රෝදයට බලය සැපයුනේ ඩ්‍රයිව් ෂාෆ්ට් එකක් හරහා. තවත් පැහැදිළි කරහොත් ඩිෆරෙන්ෂලයත් රෝදයත් අතරමගයි තිරිංග  තිබුනේ. අපි දන්න  වාහනවල වගේ රෝදෙ නෙවෙයි.

එන්ජිමේ සම්පූර්ණ බලයම ඩිෆරෙන්ෂලය හරහා වම් පස ඇක්සලයට ලබා ගැනීම සඳහා එමිල් දකුණු පස ඇක්සලය නොකැරකෙන සේ සිරකරනවා.


Photo Daniel Denis - 2CV Magazine

මෝටර් සයිකල් අසුන සාදාගන්නේ වාහනයේ  පසුපස බම්පරය කපා එයට ඩෑෂ්බෝඩ් එකෙන් ගලවාගත් අපොල්ස්ට්‍රි කොටස ඔතා එය තැඹිලි පැහැ ඇලෙන ටේප් යොදා අලවා ගැනීමෙන්.

හැන්ඩලය නිමවන්නේ රථයේ ජැක් ලීවරයෙන්. මෙයට ක්ලච් ලීවරයත් වාහනය පනගැන්වෙන ස්විචයත් සවි කරනවා. මේ 2CV විශ්මිත රථයේ බහුකාර්ය නිමැවුම ගැන කදිම අදහසක් මේ ජැක් ලීවරයෙන්ම ලබාගත හැකියි. මේ ජැක් ලීවරයෙන්ම එහි නියමිත රාජකාරියට (jack lever) අමතරව, එන්ජිම ඉදිරිපසින් ඇති සිදුරින් ඇතුල්කොට බැටරිය බැස ඇති විටක  එන්ජිම පණ ගැන්වීමටත් (crank handle), රෝද ගැලවීමටත් (wheel brace) හැකියි.

Photo Daniel Denis - 2CV Magazine

මෝටර් රියේ අංක තහඩුව ගලවා මෝටර් සයිකලයට සවිකර ගන්නේ නීතිමය අවශය අරමුණකින් වුනත්, එයින් අරමුණ ඉ‍ටු නොවුන බව එමිල් පසුව වටහා ගන්නවා.

මෝටර් සයිකලයේ බර නිසාම පෙට්‍රල් කටේ සිට ටැංකියට දිවෙන බටය කපා පැති ආධාරකයක් (side stand) සාදා ගැනීමට සිදුවෙනවා

අත් කොට කමිසයක් ඇඳ සිටි ඔහු සැඩ හිරු ‍රැසින් බේරීමට මේස් කුට්ටමේ අඩිය කපා දමා  අත්වලට ඇඳ ගන්නවා.
 

සහරාවේ ගිණියමට වේලී කරකුට්ටම් වූ පාන් ගෙඩි අඬුවෙන් කඩාගෙන වතුර දමා කාන්තාර සුප් එකක් සාදාගත්ත දවස් තියෙනවා

මේ දැවැන්ත සාර්ථකව නිම කරගැනීමටහැකි වේදෝයි යන අවිනිශ්චිතතාව එමිල්ට වද නොදෙනවා නොවේ. කොයි මොහොතේ හෝ යමක් වැරදී ගොස් සියළු උත්සාහයන් අසාර්ථකවී, වැඩපිළිවෙල අතහැර දැමීමට සිදුවිය හැකි බව ඔහු නිතර මෙනෙහි කරනවා.



අවසානයේ සියලු බාධා ජයගෙන, ඔහු සිහිනය සැබෑ කරගන්නවා. මෙය ඉතාමත්ම කාලය සහ ශ්‍රමය වැය වෙන ක්‍රියාවක් නිසාම,  දින කිහිපයක් තුල නිම කර ගත හැකි වේයයි එමිල් මුලින් සිතූ මේ කාර්යය සඳහා ගතවන කාලය දින දොළහක්.  ඉතිරි වී තිබූ වතුර ප්‍රමාණය ලීටර බාගයයි.

අවසාන දිනය ඔහු ගත කරන්නේ වාහනය පැද පරීක්ෂා කර බැලීමටත්, කඳවුරු බැඳතිබූ ස්ථානය පිරිසිදු කිරීමටත්ය.


 



ඔහු තමා සතුව තිබූ කුඩා කැමරාවේ ෂටරයට දිග නූලක් සම්බන්ධ කර වරින් වර තමාගේ ඡායාරූප ගැනීමටද අමතක කරන්නේ නෑ.

ඔහු තොං එකක් ඇඳගෙන ඉන්නෙ ඇයි කියා නම් මම දන්නේ නෑ. :D

පාවිච්චි නොකල සියලු  උපකරණ සහ වාහන කොටස් මෝටර් රියෙන් ගැලවූ බොඩිය තුල තැන්පත් කරන එමිල්, පසුදා සවස් වරුවේ තමා නිම කරන ලද  Desert Camel යන අනවර්තනාමය යෙදූ Citroën 2CV මෝටර් රථ/ සයිකලයේ නැගී මිනිස් වාසයක් සොයා ගමන් අරඹනවා.

ඔහු එන්ජිමත්, ඉන්ධන ටැංකියත්, බැටරියත් සියල්ලන්ටම ඉඩ සලසා, තට්‍ටුවේ ඉතිරිකරගෙන තිබූ බඩු පටවාගෙන යාහැකි කොටසේ ඉතිරිව තිබූ කෑම ස්වල්පය, වතුර ලීටර් බාගය, නිදිබෑගය, ආවුද පෙට්ටිය, සිතියම්, මාලිමාව, කුඩා රබර් මෙට්ටයක් හා තුවායක් එකට සම්බන්ධකර සාදාගෙන තිබූ කූඩාරම යන සියල්ලම පටවාගන්නවා.



මෝටර් රථයේ පසු පස බම්පරය කොට කර සාදාගත් ආසනයෙන් නිතර බිමට ඇද වැටෙමින් කල ගමන සුව පහසු එකක් නොවේ.

Source: Google Maps
මම ගූග්ල් මැප්ස් වලින් ලබාගත් චන්ද්‍රිකා සිතියමට අනුව Tan Tan  සිට ගමනාන්තය වූ Zagora වලට ඇතිදුර කිලෝමීටර් 674යි. Google Navigation ගණනය කිරීමට අනුව මෝටර් රථයකින් පැය 8 වි 37කින් තරණය කල හැකි දුරක්. එනම් පැයට කිලෝමීටර අසූවක පමණ වේගයකින් එක දිගටම ගමන් කලහොත් තමයි ඒ. නමුත් මේ කාන්තාරයක් හරහා වැටී ඇති රළු මගක් වගේම, මේ 1993 වසර බවත් අප අමතක කරන්න හොඳ නෑ.

Citroën 2CV රථ වල වේගය ගැන මම කලින් සඳහන් කලානේ. එමිල් පැදවූවේ වඩා අලුත් මාදිලියක් නිසා එහි වේගය ගැන මට අවබෝධයක් නැතිවුනත්, එය කිසිසේත්ම මෙවැනි මගක පැකිමී 80ක් නම් විය නොහැකියි. ඒ හැරත්, එමිල්ට දැන් මේ මුලු දුරම තරණය කිරීමට නොතිබුනත්, මම කලින් සඳහන් කරපු ආකාරයටම එමිල්ගෙ මෝටර් සයිකලයේ නිර්මාණයට අනුව ඉදිරියට ධාවනය කල හැකි වූයේ පැකිමී 20ක උපරිම වේගයෙන් රිවර්ස් ගියරයේ පමණයි. ඔහු වාහනයේ සුළු සුළු අලුත් වැඩියාවන්ට සහ වැඩි දියුණු කිරීම් සඳහා කිහිප වතාවක් නතර වෙනවා. රෑ බෝවූ පසු ඔහු මාර්ගය පසෙක රිය නවතා නින්දට වැටෙනවා.

ගමන් විඩාවෙන් සහ දින දොළහක දුෂ්කර ක්‍රියාවෙන් හෙම්බත්වී සිටින එමිල්ට, තමන් අසල නතරකල 4X4 මුර සංචාරක රථයේ හඬ හෝ ඉන් බැස ආ සෙබලුන් තිදෙනාගේ අඩි ශබ්දය හෝ ඇසෙන්නේ නෑ. ඔහුව සොලවා අවදිකරන එක් භටයෙක් තමන්ට Tilemsem වලදී මුණ ගැසුණු හිස උදුම්මවාගත් "සංචාරක  සුද්දා" හඳුනා ගන්නවා.

සෙබලුන් ආපසු හැරී යාමට කල පැහැදිළි නියෝගයද නොතකා, තමන් මුරපොලේ සිට පටවා එවීමට තැත්කල මගියා
‍රැගෙන යාමට ප්‍රතික්ෂේප කල, 'හිස් උදුම්මාගත් පර සුද්දා' තමන් ‍රැවටීමට ආපසු යන බව පෙන්නා, හොර පාරකින් නැවත තහනම් අඩවියට ඇතුල්වී ඇති බව දු‍ටු භටයා කුපිත වෙනවා. 

තමන් අනතුරකට මුහුණ පෑ බවත්, මෝටර් රථයේ කොටස් වලින් මේ මෝටර් සයිකලයක් සේ පෙනෙන මර උගුල සාදාගත් බවත්  පිළිගැනීමට සෙබලුන් මැලි වෙනවා.  මේ අමුතුම වාහනය ගැන ඇතිවූ ස්වභාවික කුතුහලය නිසාමදෝ, සෙබලුන්ට හානි වූ මෝටර් රථයේ ඉතිරි කොටස් දැක ගැනීමට අවශ්‍ය වෙනවා.

එමිල්ව  4X4 මුර සංචාරක රථයට නංවා ගන්නා සෙබලු, එමිල්ගේ මෝටර් සයිකලයේ මුරට එක සෙබලකු රඳවා, අනතුර සිදුවූ ස්ථානය වෙත යාමට පිටත් වෙනවා. පැයක් තිස්සේ සෙවුවත්, රාත්‍රියේදී එම ස්ථානය සොයා ගැනීමට ඔවුන් අසමත් වෙනවා.

ආපසු  පැමිණෙන පිරිස එමිල්ට උදේ වන තෙක් මෝටර් සයිකලය අසලම නිදා ගැනීමට අවසර දෙනවා. මීටර සියයක් පමණ ඔබ්බෙන් නතර කර තිබූ 4X4 මුර සංචාරක රථයේ සිටිනා සෙබලුන් ඔහු දෙස ඇස ගසාගෙන සිටිනවා.

පසුදා වාහනය සොයා දෙවන වරටත් කරන මෙහෙයුමේදී Citroën 2CV රියේ කොටස් එමිල් හැර ගිය ආකාරයටම සොයා ගැනීමට හැකි වීම නිසා සෙබලුන් බොහෝ සතුටට පත් වන බව පැහැදිළිවම පේනවා.  මේ සඳහා සෙබලුන් මේ හැටි උනන්දු වීමට හේතුව, එක් සෙබලකුගේ සොහොයුරෙකුට නොමිලේ 2CV අමතර කොටස් ලබා දීමට බව එමිල්ට පසුව දැන ගැනීමට ලැබෙනවා.

උදෑසන නැවතත් මෝටර් සයිකලයට නැගී මුර සංචාරක රථයට ඉදිරියෙන් Tan Tan බලා පිටත් වන ලෙස එමිල්ට අණ ලැබෙනවා. සෙමින් පසු පසින් ගමන් කල මුර සංචාරක රියට ටික වේලාවකින් එමිල් නොපෙනී යන නිසා ඔවුන් රේඩියෝ පණිවිඩයක් මගින් වෙනත් මුරසංචාරක රියක් අමතා අමුතුම සුකුරුත්තම්  වාහනයේ නැගී එන  සංචාරකයාව භාරගන්නා ලෙස පවසනවා

1993, අප්‍රේල් හයවන දින Tan Tan වලට ලඟාවන එමිල් එහිදී, කවදත් පොදු ජනතාවගේ හිත සුව පිණිස නොවන තුන්වන ලෝකයේ  නිලධාරීවාදයෙන් බැට කනවා.

එමිල් විසින් පදවාගෙන ආ මේ අරුම පුදුම වාහනයේ අංක තහඩුව, චැසි
හා එන්ජින් අංක, වාහනයේ ලියාපදිංචි කිරීමේ ලිපි ලේඛණයේ සඳහන් විස්තර හා නොගැලපෙන නිසා නීති විරෝධී වාහනයක් රටට ආනනයනය කිරීමේ චෝදනාව යටතේ වාහනය අත් අඩංගුවට ගැනෙනවා. එමෙන්ම වාහනය මහමග පැදවීමට ඉඩ දිය නොහැකි භයානක එකක් වීම නිසා එමිලුත් චෝදනාවට ලක්වෙනවා.

සෙබලුන්ගේ නිළ වාර්තාව සලකා බැලූ ආණ්ඩුකාරවරයා  විසින්, නීති විරෝධී රථයක් ආනයනය කිරීම සම්බන්ධයෙන්  වැඩි දුර කටයුතු රේගුවට භාරදෙනවා.

මුලින්ම හුදෙක් රාජකාරිමය ස්වභාවයේ ආකෘති පත් කීපයක් පිරවීමට ඇති බව පමණක් පැවසූ  රේගු නිලධාරීන්ගේ වචනය විශ්වාස කරගෙන සිටි එමිල්,  පසුදා උදෑසන  නීතිවිරෝධී  රථයක් රට තුලට ‍රැගෙන ඒම සම්බන්ධයෙන් රේගුව විසින් චෝදනා කර රඳවාගෙන ඇති රථය  නිදහස් කිරීමට නම්  ඩිරාම් 4500ක දඩ මුදලක් පනවනවා. 

එමිල් ඒ විශාල දඩ මුදලින් වික්ෂිප්ත වුවත්, මේ දඩ මුදල අනිවාර්යයෙන් ගෙවියයුතු බව රේගුව පවසනවා.

දඩ මුදල ගෙවූ පසුත්, වාහනය නිදහස් කලද, එම 'මාර්ගයේ ධාවනය කිරීමට ආරක්ෂිත නොවන භයානක වාහනය' පැදවීමේ තහනම ඉවත් නොවෙන නිසා  එමිල් ප්‍රවාහන අර්බුදයකට මුහුණ පානවා.





පසුදා රටින් පිටවීමේ ආකෘති පත්‍ර පිරවීමෙන් පසු එමිල්ට ප්‍රංශය බලා ආපසු යාමට අවසර ලැබෙනවා.  මේ අපූරු මෝටර් සයිකලය ගෙනයාම සඳහා ආපසු මෙහි ඒමට අදහස් කරන එමිල්, එය ප්‍රවේශමෙන් තබා යා හැකි තැනක් සම්බන්ධයෙන් ගැටළුවකට අර්බුදයකට මුහුණ පානවා. රජයට අයත් වාහන ‍රැඳවුම්පොලේම (impound) එය තියෙන්නට හැරියොත් ඒ සඳහා අති විශාල ගාස්තුවක් ගෙවීමට සිදුවන බවත්, කොටස් අතුරුදහන් වීමේ අවදානම ඇති බවත් එමිල්ට වැටහෙනවා.

මෙහිදී සගයින්ට වඩා සංවේදී බවක් පෙන්වූ එක් රේගු නිළධාරියෙක් එමිල් නැවත් මොරොක්කෝවට පැමිණෙන තෙක්  මෝටර් සයිකලය තබා ගැනීමට එකඟ වෙනවා.

මසකට පසුව අලුත් 2CV රියකින්ම ප්‍රංශයේ Rennes සිට Tan Tan දක්වා කිමී 3500 ක දුරක් පැමිණෙන එමිල් මෝටර් සයිකලය කොටස් තුනකට ගලවා පටවා ගෙන යනවා.

මේ වික්‍රමය ගැන වැඩි 1990 දශකයේදී ප්‍රංශ රූපවාහිනියේ ප්‍රචාරය  වූ   කෙටි සඳහනක් හැර වැඩි ප්‍රසිද්ධියක් නොලැබෙන්නේ එමිල් ඒ ගැන ප්‍රසිද්ධ කිරීමට එතරම් උනන්දු නොවීම නිසා විය හැකියි. නමුත් මෑතකදී මෝටර් රථ වෙබ් අඩවියක මේ ගැන පළවූ පසු  මෙය අන්තර්ජාලයේ පැතිර ගියේ වේගයෙන්.

එමිල් ඉන් පසුවත්, නැවත නැවතත් අප්‍රිකාවේ සංචාරය කරනවා. 




දැනට හැටහය  හැවිරිදි වියේ පසුවන එමිල් ප්‍රංශයේ ජීවත් වෙනවා. මැක්ගයිවර්, හා මෑඩ් මැක්ස්ට අමතරව ඇතැමෙකු විසින් ඔහුව Tony Stark විසින් නිරූපිත  ඉංජිනේරුමය කුසලතාවයකින් හෙබි Iron Man සිනමා චරිතයටත් සමාන කරනු ලබනවා.

 



ප්‍රංශ බසින් පලවන
Chameaudacier   බ්ලොග් අඩවියේ Moto නමින් පළවුනු මේ කතාව ප්‍රංශ භාෂාවෙන් කැඩුනු  ඉංග්‍රීසියට පරිවර්තනය කරගන්න උදව් කලේ Google Translator. පින්තූර වල තිබුන ප්‍රංශ Google Goggles Android App වලින් කැඩුනු ඉංග්‍රීසියට පරිවර්තනය කරගත්තා. ඉන් පසු ඉතා වෙහෙස වී සිංහලට පරිවර්තනය කරගත්තා.

මේ, කවදත් survival වර්ගයේ කතාවලට, විශේෂයෙන්ම කාන්තාර සම්බන්ධ එවන් කතා වලට ප්‍රිය කරන මම, මෑතකදී කියවූ රසවත්ම විස්තරයක් ඔබ හා බෙදා ගැනීමට ගත් උත්සාහයකි. 

මේ නිසාම මම සැබෑ ජීවිතයේදී දැක නැති, Tin Tin කතාවල් වලින් පමණක් දැන සිටි  Citroën 2CV රිය ගැනත් විශ්මිත කරුණු ‍රැසක්
විකිපීඩියාවෙන් ඉගෙනත් බව කියන්නෙ ආඩම්බරයෙන්.


Thanks due to:
http://chameaudacier.free.fr/moto9.html

http://www.dailymail.co.uk/news/article-2168061/French-electrician-stranded-Moroccan-desert-rebuilt-wrecked-car-motorbike-drove-civilisation.html

Google Translator

Google Goggles Android App

Wikipedia




 Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers. 





.